DSpace Repository

වී ශාකයේ දුඹුරුවන් රෝග ප්‍රතිරෝදයේ ප්‍රවේණිය

Show simple item record

dc.contributor.author Senaratna, A.U.
dc.date.accessioned 2016-09-27T05:36:48Z
dc.date.available 2016-09-27T05:36:48Z
dc.date.issued 2016-09-27T05:36:48Z
dc.identifier.uri http://dr.lib.sjp.ac.lk/handle/123456789/2962
dc.description.abstract Attached en_US
dc.description.abstract බෝම්ඹුවල වී පර්යේෂණ ආයතනයේ සහ වෙනත් පර්යේෂණායතනවල කරන ලද මූලික පරීක්‍ෂණ වලින් වී ශාකයේ දුඹුරුවන් රෝග ප්‍රතිරෝධක ආවේණික වන ලක්‍ෂණයක් බව පැහැදිලි විය. අපගේ පරීක්‍ෂණ වල මූලික පරමාර්ථය වුයේ මෙම ප්‍රතිරෝධී ලක්‍ෂණය ආවේණික වන අන්දමත් පාලනය වන අන්දමත් පිළිබඳ ප්‍රවේණි විද්‍යාත්මක දැනුමක් ලබා ගැනීමයි. ක්‍ෂේත්‍ර තත්ව යටතේ ශාක වර්ධනය කිරීමේදී රෝග ලක්‍ෂණ වල විශාල විවිධත්වයක් දක්නට ඇත. රෝග ප්‍රතිරෝධයේ ආවේණිය අධ්‍යයනය කිරීම සඳහා පාලනය කරන ලද තත්ව යටතේ වර්ධනය කළ ශාක වල රෝගය ප්‍රේරණය කළ හැකි ක්‍රමයකුත්, එම රෝග ලක්‍ෂණ ප්‍රමාණාත්මකව නිවැරදි ලෙස ඇගයීමේ ක්‍රමයකුත් අවශ්‍යය. රෝගය වැළඳීම සමග ශාකවල සහ ශාක පටක තුළ ඇතිවන ක්‍රමික වෙනස්වීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීම මේ නිසා වැදගත් වෙයි. එනිසා රෝගය වැළඳීම හා සම්බන්ධ කායික විද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක පරීක්‍ෂණ කිහිපයක් මූලික වශයෙන් කළ යුතුවිය. දුඹුරුවන් රෝගය සමග වෙනස් වී ප්‍රභේද වල ශාක තුළ දක්නට ලැබෙන රූප විද්‍යාත්මක සහ සෛල විද්‍යාත්මක වෙනස්කම්ද ශාක පටක තුළ ඇති Fe++ අනුපාතයේ වෙනස්කම් ද අධ්‍යයනය කරන ලදී. ශාක වල දුඹුරුවන් රෝග මට්ටම සහ පසෙහි අඩංගු Fe++ අනුපාතය අතර රේඛීය නොවන සම්බන්ධතාවයක් ඇති බවත්, රෝගී ශාක තුළ නීරෝගී ශාක තුළට වඩා සාපේක්‍ෂ වශයෙන් වැඩි Fe++ ප්‍රමාණයක් අඩංගු බවත් පෙනිණ. පත්‍ර වල රෝග ලක්‍ෂණ වර්ධනය වීම සමග වාහකාභ කුහර තුළ Fe සංයුක්ත ද්‍රව්‍යයක් තැන්පත් වෙයි. හරිත සෛල තුළ දුඹුරු පැහැති කුඩා ගෝලිකා ඇති වෙයි. කෘතීම රෝපණ ද්‍රාවණ වල ශාක වගා කරමින් කළ පරීක්‍ෂණ ශ්‍රේණියක ප්‍රතිඵල ආධාරයෙන් ශාක රෝග මට්ටම කෙරෙහි වර්ධන මාධ්‍යයේ Fe++ සහ NH4+ අනුපාතය අනුලෝම ලෙසද, pH අගය ප්‍රතිලෝම ලෙසද බලපාන බව එළිදරව් විය. ප්‍රවේණි විද්‍යාත්මක පරීක්‍ෂණ සඳහා ශාක වර්ධනය කිරීමට Fe++475ppm සහිත pH අගය 5.0 වූ සාක්ස් රෝපණ ද්‍රාවණය වඩා සුදුසු බව පෙන්වා දෙන ලදී. Fe++ අනුපාතය එකිනෙකට වෙනස් රෝපණ ද්‍රාවණ වල ශාක වගා කරමින් කළ පරීක්‍ෂණ මගින් රෝපණ ද්‍රාවණයේ Fe++ අනුපාතය අනුව ඒ තුළ වර්ධනය වන ශාක වල Fe++ අනුපාතය වෙනස වන බවද, රෝගී ශාක වල නීරෝගී ශාක වලට වඩා සාපේක්ෂ වශයෙන් වැඩි Fe++ අනුපාතයක් අඩංගු වන බවද පෙනෙයි. එහෙත් රෝගය ඇතිකරවන සුලු රෝපණ ද්‍රාවණ වල වගා කළ ප්‍රතිරෝධී ප්‍රභේද සමහරක ශාක තුළ ග්‍රාහක ප්‍රභේද වල ශාක තුළ අඩංගු Fe++ ප්‍රමාණයට වඩා සාපේක්‍ෂ වශයෙන් අඩු Fe++ ප්‍රමාණයක්ද තවත් සමහර ප්‍රතිරෝධී ප්‍රභේද වල ශාක තුළ ග්‍රාහක ප්‍රභේද වල ශාක තුළ අඩංගු Fe++ ප්‍රමාණය හා දල වශයෙන් සමාන Fe++ ප්‍රමාණයන්ද අඩංගු විය. එබැවින් හොඳින් පාලනය කරන ලද තත්ව යටතේ වගා කළ විට පවා ශාක පටක තුළ අඩංගු Fe++ ප්‍රමාණය නීර්ණය කිරීම ශාකයක රෝග මට්ටම තීරණය කිරීම සඳහා මිනුමක් ලෙස භාවිත කිරීම අපහසුය. විකිරණශීලී සමස්ථානික යොදාගනිමින් කළ පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් මෙම නිරීක්ෂණයන් තවදුරටත් තහවුරු වූ අතර රෝගී පත්‍ර සහ නීරෝගී පත්‍ර වල Fe ව්‍යාප්තියෙහි පැහැදිලි වෙනසක් ඇති බවද පැහැදිලි විය. දුඹුරුවන් රෝගය ඇතිකරවනසුලු රෝපණ ද්‍රාවණයෙහි වර්ධනය කළ විට BG 33.2, IR 442.2.58, IR 20, MI 273, H 4, Mas, IR 127 යන ප්‍රභේද පැහදිලි රෝග ලක්ෂණ නොපෙන්වූ අතර BG 11.11, BG 34.12 සහ BG 34.8 යන ප්‍රභේද පැහැදිලි රෝග ලක්ෂණ පෙන්වීය. මෙම ප්‍රභේද අතර දෙමුහුම් වලින් ලබාගත් F1, F2 ප්‍රජනිත සහ ජනක ප්‍රභේද රෝපණ ද්‍රාවණ වල සහ ක්‍ෂේත්‍ර තත්ව යටතේ වර්ධනය කොට රෝග ප්‍රතිරෝධය පාලනය කරනු ලබන ප්‍රවේණි පද්ධතිය පිළිබඳව මූලික අධ්‍යයනයක් කරන ලදී. ඒ අනුව Mas, H 4, MI 273, IR 442.2.58, IR 20, BG 33.2, BG 34.8, BG 34.12 සහ BG 11.11 යන ප්‍රභේද අතර දෙමුහුම් වල රෝග ප්‍රතිරෝධයේ ආවේණිය ප්‍රමුඛ ජාන දෙකක් සහ නිලීන ජාන දෙකක් සහිත ප්‍රවේණි පද්ධතියක් මගින්ද, IR 127, BG 34.12, BG 34.8 සහ BG 11.11 යන ප්‍රභේද අතර දෙමුහුම් වල රෝග ප්‍රතිරෝධයේ ආවේණිය ප්‍රමුඛ නොවන ආකලන ජාන යුගල් දෙකක් සහිත පද්ධතියක් මගින්ද, පාලනය වන බව උපකල්පනය කළ හැකිවිය. F2 F3 පරම්පරා වලින් තෝරාගත් ශාක ස්වාපරාගනයෙන් නිපදවූ ප්‍රජනීත ශාක ආධාරයෙන් කළ පරීක්ෂණවල ප්‍රතිඵල ඉහත සඳහන් උපකල්පන හා එකඟවෙයි. දුඹුරුවන් රෝග ප්‍රතිරෝධය සහ වැදගත් වර්ධක ලක්‍ෂණ කිහිපයක ආවේණිකතාව අධ්‍යයනය කරන ලදුව, එම අගයන් වැඩි සංඛ්‍යාවක් 0.5 ත් 0.95 ත් අතර වන බව පෙන්වා දෙන ලදී. ශාක ගෘහ තත්ව සහ ක්‍ෂේත්‍ර තත්ව යටතේ F1 F2 සහ ජනක ප්‍රභේද වල ශාක වර්ධනය කරමින් දුඹුරුවන් රෝග ප්‍රතිරෝධය සහ වර්ධක ලක්‍ෂණ කිහිපයක් අතර සහසම්බන්ධතාවයන් පරික්ෂා කරන ලදී. මේ අනුව දුඹුරුවන් රෝග ප්‍රතිරෝධය ශාක උස, පඳුරක මොරෙයියන් සංඛ්‍යාව, සංයුක්ත එකාක්ෂ දිග, සංයුක්ත එකාක්ෂ ඝනත්වය, සංයුක්ත එකාක්ෂ බර, පත්‍ර දිග, පත්‍ර පළල, පිදුරු බර, සංයුක්ත එකාක්ෂ වෘන්ත විවෘත දිග, කඳෙහි ඝනකම යන ලක්ෂණ සමග රූපානුදර්ශ සහසම්බන්ධතාවයක් නොදක්වන බවත්, දුඹුරුවන් රෝග ප්‍රතිරෝධය ශාක උස, පිදුරු බර, පඳුරක ඇති මොරෙයියන් සංඛ්‍යාව, පත්‍ර දිග, පත්‍ර පළල, සංයුක්ත එකාක්ෂ දිග, සංයුක්ත එකාක්ෂ බර, සංයුක්ත එකාක්ෂ වෘන්ත විවෘත දිග සහ කඳෙහි ඝනකම යන ලක්ෂණ සමග ප්‍රවේණියානුක හෝ පරිසර සහසම්බන්ධතාවයක් නොදක්වන බවත් පෙනුණි.
dc.language.iso en en_US
dc.title වී ශාකයේ දුඹුරුවන් රෝග ප්‍රතිරෝදයේ ප්‍රවේණිය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account